11 ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක. 12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ”මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්රාවකයන්ට ඇසිණි. 15 ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 16 දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක. 17 උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, ” ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක. 18 නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. 19 සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක. 20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. 21 ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, ”බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය. 22 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේ අදහාගන්න. 23 සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. 25 ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය. 26 එහෙත් ඔබ කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේ ද ඔබේ වැරදිවලට කමා නොවන සේක.”