1 උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: ”ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය. 2 ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය. 3 උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක, 4 ‘ඔබත් මිදි වත්තට යන්න, සෑහෙන කුලියක් ඔබට දෙමි’යි කී ය. 5 ඔව්හු වැඩට ගියහ. නැවත මද්දහනේ දී ද අපර භාග තුනට පමණ ද ඔහු පිටත් ව ගොස් එසේ ම කෙළේ ය. 6 සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය. 7 ‘කිසිවෙකු අප වැඩට නොගත් නිසා ය’යි ඔව්හු කී හ. ‘ඔබත් මිදි වත්තට යන්නැ’යි ඔහු ඔවුන්ට කී ය.
8 ”සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය. 9 එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ. 10 මුලින් ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූ හ. එහෙත්, ඔව්හු ද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූ හ. 11 එසේ ලැබූ ඔව්හු ඉඩම් හිමියාට විරුද්ධ ව දොස් කියමින්, 12 ‘මේ අන්තිමට ආ අය වැඩ කෙළේ එක පැයක් පමණි. එහෙත්, අවු රස්නය නොබලා මුළු දවසේ ම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලිය ම ගෙවන්නෙහි ය’යි කී හ. 13 එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද? 14 ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය. 15 මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය. 16 මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”