1 එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ. 2 පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.
3 එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 4 ”ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද? 5 ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන, 6 ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි. 7 එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.” 8 තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද? 9 එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය. 10 එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”