12 යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක. 13 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, ”ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ. 14 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය. 15 ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. 16 එහෙත් මා විනිශ්චය කළත්, මාගේ විනිශ්චය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනියම නොව, මා එවා වදාළ පියාණන් වහන්සේත් සමඟ ය. 17 ‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත. 18 මම මා ගැන ම සාක්ෂි දරමි; මා එවා වදාළ පියාණන් වහන්සේ ද මා ගැන සාක්ෂි දරන සේකැ”යි වදාළ සේක. 19 එබැවින් ඔව්හු ”ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.
20 උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.