17 උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, ”යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 18 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක. 20 ඔහු ද උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය. 21 ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, ”ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 22 එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.
23 එවිට ජේසුස් වහන්සේ අවට බලා, ”ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 24 ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; ”දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද? 25 ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.” 26 ඔව්හු අතිශයින් මවිත වී, ”එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ. 27 ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ”මිනිසුන්ට නම් එය කළ නොහැකි ය. දෙවියන් වහන්සේට එසේ නොවේ; දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ය”යි වදාළ සේක.
28 පේදුරු කතා කරමින්, ”බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය. 29 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, 30 ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය.