1 ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ. 2 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි. 3 පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය. 4 සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද? 5 එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක. 6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, ”එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය. 7 එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය. 8 ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ. 9 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක.