45 එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක. 46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක. 47 සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක. 48 සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමයb පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක. 49 ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, ”ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ. 50 සියල්ලෝ ම උන් වහන්සේ දැක බිය වූ හ. එහෙත් උන් වහන්සේ එකෙණෙහි ම, ”ධෛර්ය ගන්න; ඒ මම ය; බිය නොවන්නැ”යි ඔවුන්ට කියා 51 ඔවුන් සිටි ඔරුවට නැඟුණු සේක. සුළඟ නැවතිණි. ඔව්හු විස්මයෙන් විස්මයට පත් වූ හ. 52 ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.